Saturday, November 12, 2016

සිතුම් රෑනේ ඉඳින් නොයා මා දමා......



මධුවිතක් පුරන ශෝකී ළඳක්


මධු විලේ මල් පිපුනු සොඳුරු යාමේ
නුඹෙ නමින් පුද කලා මාගේ ප්‍රේමේ
දිවි තුරා පෙති සැලෙන මාගේ  ජීවේ
නුඹෙ දැතේ පා වේවි මධුර යාමේ


ගුම් නදින් චංචලයි මාගේ දැසේ
රෑ පුරා නුඹේ හඬයි මාගේ සවනේ
මත් බවින් පිරුනු   රත් දෙතොලේ
නුඹෙ දැස් වෙලේ  දිනූ විලසේ 


සඳ රැසේ දිඳුලනා නේක රූ රටා
මැව් මෙසේ  සිත්තම් කියාවි මා වටා
හදවිලේ නුඹ මවන රූ රටා
සිතුම් රෑනේ ඉඳින් නොයා මා දමා


සිත් සිත් සිත්  යා වෙන්නේ
බිඟු බිඟු බිඟු නද දෙන්නේ
රන් රන් රන්  සිනූ රැව්දෙන්නේ
රොන් රොන් රොන්  පිරි මුදු මුවඟේ.....


ප. ලි. මගේ ජිවිතේ මුලින්ම ගෑනු ළමයෙකුට (වගේ පෙනුන කෙනෙකුට) පිරිමි කෙනෙක් මහ රෑක එළව එළවා පහර දුන් හැටි දැක්කෙ බැංකොක් නුවරදි, අපි දෙන්නා එක දිගට වැඩ කල දවස් කීපයකට පස්සේ වෙහෙස නිවා ගන්න ඇවිදින්න යන වෙලාවක...අඩියෙන් අඩිය මත්පැන්හල් සහ ක්ලබ් වලින් පිරිනු ඇසිපිය නොහෙලා බලන් ඉන්න හිතෙන සුරංන්ගනාවියන් නිතර ගැවසෙන ඒ පාරේ ඇයව බේර ගන්න කවුරුත් ඉදිරිපත් උනේ නම් නැ...අපේ නවාතැනින් නගරෙට එන්න තිබ්බ පාරවල් දෙකින් කෙටිම පාර තමයි මේ පාර...

මේ වගේ තැනක අවුරුද්දක් මාත් එක්කමත් ඉතිරි අවුරුද්ද තනියමත් ඉඳලා බිංදුවකින් වත් වෙනස් නොවුන මගේ දඟමල්ලගේ  තාත්තට   ම තාමත් ගෞරව කරන්නේ (තරුණ) පිරිමි කෙනෙකුට ලේසියෙන් ඒ දේ කරන්න බැරි බව මම දැකලා තියන නිසයි...

බැංකොක් නගරය ගොඩක් දියුණු උනාට රට ඇතුලට යන්න යන්න හරිම කණගාටුදායක ජීවිත... ගොඩක් තරුණ පිරිමි ළමයි ලේඩි බෝයිස්ලා විදිහටත් ගෑනු ළමයි විදී ලඳුන් ලෙසත් අවුරුදු කීපයක් නගරේ වැඩ කරන්නේ සල්ලි හොයා ගන්න තියන ලේසිම ක්‍රමය ඒක නිසයි.. ඒත් ඒ හිත් බලාපොරොත්තු වෙන සිහින ලොව හදා ගන්න ලැබෙනවද කියලා මට නම් සැකයි....

17 comments:

  1. විතක් විලස බැල්මන් පිරි නෙත් අගිනේ
    රැයක් පුරා මත් සුවඳක් පතුරන්නේ
    කෙනෙක් කොහෙද අයිතියකට හිමිවෙන්නේ
    මලක් වීදි අයිනක සිට නැළවෙන්නේ.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්.
      "මලක් වීදි අයිනක සිට වැළපෙන්නේ...."
      ඔව් හීන දකින්නී. එහෙමත් හොඳයි.

      ජයවේවා!!!

      Delete
  2. බොහොමයක් ජීවිත ඇතුළේ අපිට නොපෙනෙන දුක් ගොඩක් තියෙනවා....... ඒ තමා ඇත්ත..... රියැලිටිය...

    ReplyDelete
    Replies
    1. ඔව් කුරුටු....සල්ලි නිසා දුක් වැඩි වෙලාද මන්දා....

      Delete
  3. මට නම් පේන්නෙ මිනිසුන්ගෙ අධි බලාපොරොත්තු මිනිසුන්ගෙ සෑනසීම නෑතිකරනවා කියලා....

    සියල්ල තිබුනත් ඒ නිසයි මුකුත් නෑ කියල දුක් වෙන්නෙ....

    ඒ නිසයි මිනිස්සු එක එක ක්‍රම මුදල් හොයන්න පාවිච්චි කරන්නෙ.

    අවසානය ඒ නිසයි බොහො අයට සනසීමක් නොදෙන්නෙ.

    Nadee akka

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්න බැ අක්කේ මේ අය ගැන.. ලැබෙන තරම මදි කියන අයත් ඉන්නවා තමයි..සැනසීම නම් නැති වෙන්නෙම ඒ නිසා තමයි..

      Delete
  4. නිම්නා....මම දන්න තරමින් ඉතා කුඩා කාලයේ ඉඳන්ම මේ අයව පුහුනු කරනවා තායිලන්ඩ් වල ඔය රැකියාව හරියට කරන්න...ඒ සමාජය අපි ඒ අය දකින විදියට නෙවෙයි වෙන්නැති ඔවුන් දිහා බලන්නේ...තවත් වැදගත් රස්සාවක් හැටියට දකිනව ඇති..බඩගින්න නිවන ස්ට්‍රීට් ෆුඩ් වෙන්ඩර් කෙනෙකුයි, රාග ගින්න නිවන ලේඩි බෝයි කෙනෙක් හරි ප්‍රොස්ටිටියුට් කෙනෙක් හරියි අතර එතකොට වෙනසක් ඒ සමාජයේ පෙනෙන්නේ නැතුව ඇති...!
    එහෙම වෙන්න බැරිද...!
    ගුටිබැට කෑම ඔකුයුපේශනල් හසාර්ඩ් එකක් ඔය ප්‍රොෆෙශන් එකේ....!

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති චෙෆාකි.. ඒත් ඒ වෙලාවේ ඒ කෙනා බේරෙන්න දඟලපු හැටි මගේ හිතින් අයින් වෙන්නේ නැ..මේ හැමදේම සල්ලි නිසාද කියලත් මට හිතුනා...එයාලා වෙනසක් නම් දකින්නේ නැ තමයි..

      Delete
  5. මොනව කියන්නද? සමහර රටවල රස්සාවක් ගන්නත් කාගෙ හරි එක්ක නිදාගන්න ඕන එකේ

    ReplyDelete
  6. මිනිස් ජීවිතවල කටුක බව. ගුටි කාගෙන හරි ඉන්නේ එදා වේල හොයාගෙන කොහොමහරි ජීවත් වෙන්න වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැ ඒ ගැන නම් කසුන්.. බැංකොක් නගරයට ඇදෙන පිරිසට සාපේක්ෂව රැකියා අඩුයි... ඒ අයගේ ඉංග්‍රිසී දැනුමත් හරි අඩුයි..

      ඉගෙන ගන්න ආපු අපේ යාලුවෙක් ඈත පළාතක නැවතිලා ඒ ළමයින්ට ඉංග්‍රිසී උගන්නනවා එයාගේ සමහර අනාගත තීරණත් වෙනස් කරගෙන.. ඉංග්‍රිසී ටිකක් හරි හදාගත්තොත් මේ රැකියාව නොකර එදිනෙදා වේල හොයා ගන්න වෙන රැකියා හොයා ගන්න පුලුවන්...

      Delete
  7. හැමෝගෙම ජීවිත වල පිටතට නොපෙන්වන නීරස කටහවක් තියෙනව...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව් විභී, ඒ පාරේත් නගරයේ බොහෝ තැන් වලත් තායි වැසියන් අදහන බුදුදහමට අනූව සකස් වුනු පුද පුජා කරන තැන් වල මලක් පුජා කරලා හඳුන්කූරක් කූරක් දල්වන මේ හැමකෙනාගෙම හිතේ ඒ වගේ නොකියවුනු නීරස කතාවක් ඇති...

      Delete
  8. අනේ මන්දා හීන දකින්නි මට නම් පේන්නෙ ඒක තවත් වෘත්තියක් විදියට විතරයි.

    ReplyDelete
    Replies
    1. අපි තව රැකියාවක් විදිහට විතරක් දැක්කට රොමාරස් ඒ අයගේ හිත් වල ඒ රැකියාවෙන් මිදෙන්න දැක්මකුත් තියනවා වෙන්න පුලුවන්...කවුද අකමැති සැහැල්ලු ජීවිතේකට...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...