Friday, April 8, 2016

පූස් පැටියයි, ජූඩියි, මමයි....ජීවිතං අනියතං මරනං නියතං


අපේ ගෙදර අපි පුංචි කාලේ හිටියා ජූඩි කියලා හුරතලේට ඇති කරපු බලු පැංචෙක්,නෙමේ බලු පැංචියක්. එයාව අපේ තාත්තා ගෙනත් තිබ්බේ ඇත හීතල කඳුකරයේ තේ වත්තකින්. සැහෙන කාලයක් අපේ ගෙදර හැමෝගෙම හිත් වල පිරුනු ආදරය විශේෂයෙන්,මගේ ආදරය  නොමඳව විදගත් ජූඩි හරිම කඩිසර දඟකාර , එඩිතර දුබුරු පාට පුලුන් ගොඩක්.

පුංචි කාලේ ඉදලම මට ඕනේ උනා පූස් පැටියෙක්, ඒත් අපේ  අම්මා කොහෙත්ම එකඟ කරගන්න  ඇගේ හිත වෙනස් කරගන්න මගේ මායම් සමත් වුනේ නැහැ. එහෙම තිබුනු ඇගේ හිත වෙනස් කරන්න සමත් වූ එක් පූසියෙක් හිටියා. අපේ අම්මා මටත් වඩා පූසන්ට ලැදි කරවු ඒ පූසිගේ කතාව වෙනම දවසක ලියන්නම්.


අද ලියන්නේ මට හම්බුන මුල්ම පූස් පැටියා ගැන. අම්මට මගේ ආසාව කියලා කියලා කොහෙන්ද මන්දා පුංචි දුබුරු, කහ, කළු පුල්ලි වැටුන පූස් පැටියෙක් ගෙදර ගෙනාවේ  පුලුවන් තරම් ආදරේ දිලා බලාගන්න ලඟින්ම තියාගෙන. 

මට තිබුනේ පුදුම සතුටක්. මගේ මුලු දවසම ගතවුනේ අලුතෙන් ආපු අපේ ගෙදර පුංචි සාමාජිකයාට සාත්තු කරන්න. ආදරේ කරන්න. මම ඒ වෙනකොට හිටියෙ ඉස්කොලේ 7 වසරේ. ඉස්කොලේ යන්න කලින් වගේම ගිහින් ආවට පස්සේත් පූස් පැටියා මගේ අතේමයි. ඇත්තටම මට අමතක වුනා ජූඩියාව. වෙනදට ජූඩියා එක්ක ගෙවෙන මගේ විවේකය සම්පුර්ණයෙන්ම අලුත් පුංචි පූස් පැටියා ආදරනීයව සොරාගෙන තිබ්බේ මටත් නොදැනීම.

දවසක් මම පූස් පැටියත් වඩාගෙන එලියට ආවා. ජූඩියා හිටියේ කොරිඩෝවේ ජනේලයකට දම්වැලින් ගැට ගහලා  එයාගේ සුපුරුදු සුවපහසු බිත්තිය කොනේ. මට ඔනේ වුනා ජූඩියාට මගේ පුංචි පැටියව පෙන්නන්න. ඒත් එයා ගැන පුංචි සැකයක් මගේ හිතේ තිබුන නිසා දම්වැලේ දුර හිතින් මැනලා තවත් අඩියක් පස්සෙන් ඉදලා මං එයාට කතා කලේ එයත් මේ අලුත් පැංචා ආදරෙන් පිලිගනි කියලා හිතාගෙන. 

"ජූඩියෝ මේ බලන්න"  මගේ කටහඬ ඇහුනු පමාවෙන්  එතෙක් බිත්තිය මුල්ලේ වකුටු  වෙලා හිටපු ජූඩියා මගේ පැත්තට පැන්න බව විතරයි මට මතක. ඊලඟ තප්පරයේ දී මගේ අතේ හිටිය පූස් පැංචා උදුරලා අරන් එයාගේ කටින් තියාගෙන ඉන්නවා මං දැක්කා.

කියන්න ඕන නැනේ අමුතුවෙන් සති ගානක පූස් පැටියෙකුට අත්වන ඉරනම ඒ වගේ අවස්ථාවකදි. ඒ මොහොතේ මගේ ඇහැ ගැටුනා කෙටි තාප්පයෙන් එහා පැත්තේ කොස්සක් තියනවා. මාත් පැන්න ගමන් කොස්ස අරන් අතු ගාන පැත්තෙන් ජූඩියාට ගහගෙන ගියා පාරවල් දෙක තුනක්ම. ඒත් වැඩක් වුනේ නැහැ.. එයා නෙමේ පූස් පැටියව අත ඇරියේ. ඊලඟට මම දැක්කේ පූස් පැටියව බිම දාලා ජූඩියා ආපහු එයාගේ පුරුදු බිත්තිය මුල්ලට ගිහින් ආපස්සට හැරිලා මං දිහා බලන් ඉන්න විදිහ. 

ඒ මොහොතේ මමත් බැලුවේ ජූඩිගේ දුබුරු පාට ඇස් දෙක දිහා. ඒ ඇස් වල ලියවිලා තිබ්බේ අසරණකමක්, පාලුවක්, තනිකමක් කියලා මට හිතෙත්දී ජූඩියා ගැන පුදුම ආදරයකින් මගේ මුලු හිතම පිරිලා යනවා මට දැනුනත් මම කිසිම දෙයක් නොකර එතනින් ගියා. මතක විදිහට මං ඇඩුවේ නැහැ. ඒත් ජූඩියාගේ ඇස් වල නොකියවුනු කතාව අමතක කරන්න මට පුලුවන් වුනේ නැහැ.

එතනින් එහාට ජූඩියා ජීවත්වන තුරු මම පූස් පැටව් හැදුවේ නැහැ. ජූඩියා අපි අතරින් සමු අරන් ගියාට පස්සේ මම ගොඩක් පූස් පැටව් හැදුවත් ඒ එක පැටියෙක්වත් මගේ කරගත්තේ නැහැ. පුංචි කාලේ හදලා ලොකු උනාම එයාලට කැමති තැනක යන්න, කැමති දෙයක් කරන්න නිදහස දීලා මම අයින් වුනා. අන්තිමට මම හැදුවේ මැරෙන්න ඔන්න මෙන්න හිටපු පූස් පැටියෙක්. හැබැයිලොකු උනාම ලස්සන , ශක්තිමත් ලොකුම ලොකු පුසෙක් බවට පරිවර්ථනය වෙලා තිබුනා. එයාට තිබුනේ කැලැ දිවියකුගේ මුහුනුවරක්. නමුත් එයාට  අවසානයේ අත්වුනේ අපි කවුරුත් බලාපොරොත්තු නොවු ඉරණමක්............

මා ඉගෙනගත් පාඩම :: කිසිවකුගේ හැඟිම් සමඟ සෙල්ලම් නොකල යුතුය. එමෙන්ම මගේ හැඟිම් නොරිදවාගෙන ඇසුරු කරන්නේ කෙසේද....

2 comments:

  1. මම නම් සත්තු හදන්න ආස නෑ. ඒත් ළඟදි අපේ ගෙදරට ගෙනාවා බලු පැටව් දෙන්නෙක්. labrador වර්ගයෙ. දෙන්නම එකම වගේ, වෙනසක් හොයන්න බැහැ. උන් දෙන්න නිසා මට සත්තුන්ට තියෙන අකමැත්ත නැති වුනා. තාම දෙන්නම පොඩියි. උන් ගැන කියන්න නම් මට කතාවක් නැහැ. දවස තිස්සේ කූඩුවට වෙලා ඉන්නව. හවසට කූඩුවෙන් ඇරියම පිස්සො දෙන්නෙක් වගේ වත්ත වටේ දුව දුව සෙල්ලම් කරනව. මම බලන් ඉන්නව. එච්චරයි ;)

    ReplyDelete
    Replies
    1. මටත් ආසයි ඒ දෙන්නා පිස්සෝ වගේ දුවනවා බලන්න.සත්තුන්ට පුළුවන් මුකුත්ම බලාපොරොත්තු නොවී අපේ හිතට සතුට ගේන්න. :) :)

      Delete

Related Posts Plugin for WordPress, Blogger...